වාද භේද

පොඩි කාලේ ඉඳන් මට යාළු මිත්රකම් ඇතිකර ගැනීම අමාරුවුනේ නෑ. ඉස්කෝලෙත් විශ්වවිද්යාලෙත්, වැඩ කරන කාලෙත් මට යාළුවන්ගෙන් අඩුවක් වුනේ නෑ. මම ගෝනියාවට ආ පලවෙනි දවසේ මුනගැහුන කෑම් සහ චක් මගේ ගවේෂණ වලට සම්බන්ද නිසා මම ඔවුන් ‘මිත්රයෝ’ හැටියට සැලකුවේ නෑ. කොයි තරම් කිට්ටුවෙන් ආශ්රය කළත් ඒ දෙදෙනාට මගේ ගවේෂණ ප්රතිපලවල වටිනාකම ගැන තීරණයක් ගන්න වෙනවා - හොඳට හෝ නරකට. ඒ නිසා අපේ ආශ්රය වෘත්තීය මට්ටමෙන් තියාගැනීම දෙපාර්ශවයටම හොඳ බව අපිට තේරුනා. සති දෙකකට වරක් අපි ගවේෂණයේ උන්නතිය ගැන සාකච්චා කරන්න මුනගැසුනත් අප අතර ඊට වඩා සුහදතාවයක් ගොඩනැගුනේ නෑ.

අනික් අතට ගෝනියාව ඇවිත් මාස දෙකක් යනකොට මට ‘මිත්රයෝ’ ලෙස සලකන්න පුළුවන් සගයෝ දහපහලවක් හිටියා. එයින් සමහරු මගේ ශිෂ්ය නිවාසේ, අනික් අය ඔවුන්ගෙ මිත්රයෝ. ඒ වෙනකොට මට රටයි මිනිස්සුයි චාරිත්ත්රයි සෑහෙන්න පුරුදුයි. ඒ නිසා මට ලංකාවෙන් පිටවී සිටීම කරදරයක් හෝ දුකක් ලෙස දැනුනෙ නෑ.

ගවේෂණයට ඉතා වැදගත් සහය - එක් එක් ජන කොට්ටාශ වල විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම, ප්රසිද්දියේ පාවිච්චි කල යුතු/නොයුතු වචන දැනගැනීම, මා පැවැත්වූ සම්මුක සාකච්චා වලට අවශ්ය සහභාගි වන්නෝ සොයා ගැනීම - මට ලැබුනේ මගේ මිත්රයන්ගෙනුයි. ඒ වගේම මගේ ගවේෂණ ක්රියා අතරතුරින් නැගී එන නව අදහස් උදහස් සාකච්චා මර්ගයෙන් පැහැදිලි කරගන්න මුක්කු සපයාදුන්නෙත් මේ මිත්ර කැලමයි.

එනිසාමයි මේ මුදල් අඩුපාඩු වලින් පීඩාවිඳින මිත්ර ශිෂ්යයන්ට විටින් විට කෝපි කෝප්පයක්, බීර වීදුරුවක් සඳහා වියදම දැරීම මගේ යුතුකම ලෙස මා දුටුවේ. මෙවැනි අවස්ථා වලදී මට මගේ ශිෂ්ය ජීවිතයත් නිතැනින්ම මතකයට නැගුනා - අමරදේව ශූරීන්ගේ ‘මාත් එහෙම හිටි හැටි මතකයි’ වචන කෙලින්ම අදාලයි කියලා මට හිතුනේ.

මම ඉගෙනගත්ත ඉස්කෝලෙයි විශ්වවිද්යාලෙයි දෙකේම වැඩිපුර හිටියේ සිංහල බෞද්ධයෝ. නමුත් දෙමල, බර්ගර්, මැලේ ජාතිකයෝ වගේම හින්දු, මුස්ලිම් සහ ක්රිස්තියානි ආගම් අදහන්නෝ සෑහෙන ප්රමානය හිටියා. මිත්රයෝ වශයෙන් අපි ජාති/ආගම් භේද සැලකුවේ නැතත් ජාති සහ ආගම් අතරේ අවිශ්වාස/සැක ඇතිබව අපි හොඳින් දැන හිටියා. වචනෙන් නොකිව්වත් යටි හිතේ මෙවැනි අදහස් බොහෝ දෙනෙක් ලඟ තිබුනා. මෙවැනි භේද ඉඳහිට මතුවුනත් ඒවා හිතාමතා යටපත් කරගන්න තරමට අපේ මිනිස්සු ශිෂ්ටසම්පන්න වුනා.

ගෝනියාවෙත් ලංකාවෙත් තිබුන එක වෙනසක් පැහැදිලිවම පෙනෙන්න තිබුනා මේ ක්ශේත්රයේ. මෙහි පුරවැසියෝ සියළුදෙනා වගේ එකම ජාතියකටත් එකම ආගමකටත් අයිතිවූ නිසා ජාති/ආගම් භේද වලට මුල් ඇදීමට සරු වාතාවරනයක් තිබුනෙ නෑ. මෙය මගේ කිට්ටුම මිත්රයන්ට ඉදිරිපත් කරන්න මම තීරණය කළා. විශ්වවිද්යාල බීර කැන්ටිම මෙයට සුදුසු රැස් වෙන ස්ථානයක් කියලා මම හිතුවා.

“අපි බීර එකක් බොන ගමන් මම ප්රශ්න කීපයක් ඇහුවට කමක් නැද්ද?”

“උපාලී වෙනදා වගේම බීර වලට ගෙවනවානම් ඕන ප්රශ්නෙකට උත්තර දෙනවා! …. හැබැයි මගෙ හිතට නිතරම එන දෙයක් තමා උපාලී ගෙදර ගිහින් අපේ රට ගැන මොනවා කියයිද කියලා. ‘ගෝනියා පොරවල් නිතරම එල්ලි එල්ලී එනවා මගෙ ගානේ බීර බොන්න!’ එහෙම නැත්තම් ‘උන්ට බොන්න දීපුවම ඕන දෙයක් කරවා ගන්න පුළුවන්!’. අපේ රටේ සේරම අපි වගේ නෙවෙයි උපාලී… හොඳද?”

රාහිත්ගෙ මේ කතාව ගැන මට හරිම කනගාටුවක් ඇතිවුනා. පිටරැටියෙක් ලංකාව ගැන එහෙම කතා කිව්වොත් මට මොනවා හිතෙයිද?

“රාහිත්… මම මේ කතාකරන්නේ මේ මේසේ වටේ ඉන්න සේරටම - ගෝනියාවේ මට ඉන්න හොඳම යාළුවෝ දැන් මෙතන… රාහිත් තමා මට ඉස්සරවෙලාම උදේ කෑම වෙලාවෙදි උදව්කළේ - ඒ මම ගෝනියාවේ ගෙවපු පලවෙනි දවස. එදාම රෑ කෑමෙදි මට තව කීප දෙනෙක් මුනගැහුනා…. ඔබලට තේරෙනවද අළුත් රටක පලවෙනි දවස ගෙවන එක සාමාන්යෙන් කොයි තරම් අමාරුද කියලා, දන්න හඳුනන කෙනෙක් නැත්නම්? මට එහෙම කරදරයක් නොවුනේ මෙතන ඉන්න අය නිසා…. ඒ සාමාන්ය ජීවිතේදී - කාලා බීලා තනියක් නොදැනී, කොන් නොවී ඉන්න එක. නමුත් මට ලැබුන උදව් එතනින් ඉවර නෑ - මට රට වටේ ඇවිදින්න උදව්කළේ කවුද? මට ගෝනියාවේ පුරවැසියන්ට හරියට කතා කරන්න කියල දුන්නේ කවුද? මගෙ ගවේෂණයට අවශ්ය සෙමිනා වලට සහභාගිවුනේ කවුද? මගෙ හිතට එන අදහස්වල හරි වැරදි දැක ගන්න සාකච්චා කළේ කාත් එක්කද?... මේවා මට අමත කරන්න බෑ. අමාරුවෙන්හරි අමතක කළත්, තවත් අමතක කරන්න බැරි දෙයක් තියෙනවා - ඒ මගේ ශිෂ්ය ජීවිතේ…. ඒ දැන් බොහෝම කාලෙකට ඉස්සර කියලා ඔයාලට හිතෙන්න පුළුවන් - ඒක ඇත්ත. නමුත් මම ඒ දවස්වල ගෙවපු ජීවිතේ තවම අමතක වෙලා නෑ…. ඒ දවස්වලත් අදත් උදව් කරන්නන්ට ගෙවීමක් හැටියට නෙවෙයි මම බීර ගන්නේ - මම බීර ගන්නේ මගෙ යාළුවන් සමග වීදුරුවක් දෙකක් බොන්න තියෙන අශාව නිසා… ඒක වැරදිනම් මට කියන්න… මගේ ක්රියාව ඔබලට නින්දාවක්, මදිකම වගේ දැනෙනවානම් මට සමාව දෙන්න, කරුණාකරලා. මට හරියට හැසිරෙන විදිහත් කියාදෙන්න…”

මගෙ ඇස් තෙත්වී තිබුනා - කටහඬ ටිකක් සැලෙනවා. මම කතාව නැවැත්තුවේ ඒ නිසයි. පොඩි නිහඬ තාවෙකින් පස්සේ රාහිත් කතා කරන්න පටන්ගත්තා.

“උපාලිගෙන් මමයි සමාව ඉල්ලන්න ඕන, කට කැඩිච්චි කතාවක් කිව්වට. මට කවදාහරි කෙලවෙන්නේ මගෙ කට නිසා බව කීප දෙනෙක් මට කියලා තියෙනවා… දැන් තමා ඒකේ ඇත්ත මට තේරෙන්නේ…. අපි උපාලිට උදව්කළේ, යම් යම් දේ කියාදුන්නේ බීර බොන්න නෙවෙයි. මෙතන ඉන්න අට දෙනාගෙන් තුන්දෙනෙක් බීර බොන්නෙ නෑ. දෙන්නෙක් ඉස්සරවෙලාම බීර බිව්වේ උපාලී ආවට පස්සේ…. මට පෙනෙන විදිහට, ලංකාවේ තරම් අපි බීර බොන්නෙ නැතුව ඇති…. මම බීර වලට කැමතියි - ගමේදී බීලා. නමුත් විකී, ජිනා එහෙම බීර බොන්නේ උපාලී ගත්ත නිසා - ‘බීර එපා’ කියලා කියන එක අපිට ලේසි නෑ…. මම ආයෙත් කියන්නේ, අපි සේරම වෙනුවෙන් - අපි උපාලී මිත්රයෙක් හැටියට සලකන්නේ උපාලී…. උපාලී උපාලී නිසා”

මට හරි සතුටක් දැනුනා. ඒ වගේම, වාතාවරනය සහැල්ලු කරන්න අවශ්ය බවත් මට දැනුනා.

“අපි තව බීර ටිකකුයි, අනික් අය බොන්න කැමති දේයි ගමුද? නැත්නම් මගෙ ගවේෂණ ප්රශ්න කොට උඩ!”

කණ්ඩායමේම හිනා අතරේ ආයෙත් ප්රශ්න පටන්ගත්තා.

“මගෙ ප්රශ්න වලට ඉස්සර මම යමක් කියන්න ඕන…. ලංකාවේ මිනිස්සු ආගම් කීපයක් පිලිපදිනවා. ඒවගේම ජනකොට්ටාශ කීපයක් තියෙනවා; භාශා, සිරිත් විරිත්, සංස්කෘතිය අතින් බොහොම වෙනස්. එක එක ආගම් වලට හිමි සිද්ධස්ථාන රට පුරාම තියෙනවා. පංසල්, කෝවිල්, පල්ලි - මේවා අපිට පුරුදු ගොඩනැගිලි. සමහර සිද්ධස්ථාන හරිම ලස්සනයි වගේම ඓතිහාසික අතින් වැදගත්. හුඟක් වෙලාවට මේවා සංචාරකයෝ අතර ජනප්රියයි… නමුත් ගෝනියාවේ මම එක සිද්ධස්ථානයක්වත් දැකලා නෑ….?”

මගෙ යාළුවෝ මුහුනෙන් මුහුන බැළුවා, හරියට මම මෝඩ ප්රශ්නයක් ඇහුවා වගේ. අංතිමට උත්තරේ ආවේ රාහිත්ගෙන්.

“ගෝනියාවේ ආගම පෞද්ගලික දෙයක්. මං හිතන්නේ ජනතාව සේරම එකම ආගමේ නිසා ඒක ගැන රටට ඇහෙන්න කතා කරන්න අව්ශ්යතාවයක් නෑ. රටට පෙනෙන්න ලොකු සිද්ධස්ථානය අවශ්යත් නෑ. නමුත් හිතන්න එපා අපි ආගම් අදහන්නේ නෑ කියලා - හුඟක් ගෙවල්වල තියෙනවා ‘සිද්ධස්ථාන’ ඒ ගෙදර අයගෙ පාවිච්චියට… මම අහලා තියෙනවා, පින්තූර දැකලත් තියෙනවා ආකර්ෂණීය, ඉන්ජිනේරු ශාස්ත්රයෙනුත් කලාවෙනුත් ඉස්තරම් චමත්කාර සිද්ධස්ථාන වෙන රටවල…. අ… මට හිතෙන්නේ හැබැයි ඒවා හදන්න ඔය තරම් වැය කරන්නෙත් මහංසි වෙන්නෙත් තම ආගමේ ලොකුකම පෙන්නන්න කියලයි. මම මෙහෙම කියන්නේ ආගම් තරඟ නැති රටක හැදුන වැඩුන කෙනෙක් නිසා. අපි ආගමක් දිහා බලන්නේ වෙන විදිහකට. උපාලී හිතන්න එපා මම අනික් රටවල්වල ආගම්වල වැරැදි හොයනවා කියලා - ලංකාවෙත් එහෙම තැන් තියෙනවා කියලා මං දන්නවා - පුරාණ එවා වගේම නවීන ඒවත්”

“ස්තුතියි රාහිත් ඒක හොඳටම පැහැදිලි කරලා දුන්නට…. නමුත් මම එක අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. ලංකාවේ ගම්මාන තියෙනවා එකම ආගමක අය විතරක් ජීවත්වෙන. නමුත් ඒවගෙත් පංසල්, කෝවිල් එහෙම තියෙනවා. මට හිතෙන්නේ මේ සිද්ධස්ථාන අනික් ආගම් වලට තරඟෙට හදපුවා නෙවෙයි. ඒවා ගැමියන්ගේ ආගමික වගේම සමාජීය හා සංස්කෘතික වැඩකටයුතු වලටත් පාවිච්චි වෙනවා…. සිද්ධස්ථාන නැතුව ගෝනියාවට ඒ ආගමික නොවන කටයුතු වෙන විදිහ ඊලඟටසොයා බලන්න ඕන”

“උපාලිට කිව්වට …. මේක කිකිලිද බිත්තරේද ඉස්සරවෙලා ආවේ වගේ ප්රශ්නයක්. සිද්ධස්ථානයක් කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි - එතනට පූජකයෝ ඕන වෙනවා ආගමික, සමාජීය, සංස්කෘතික කටයුතු සිද්ධ කරන්න. සිද්ධස්ථාන නැති රටක පූජකයෝ වැඩක් නෑ - පූජකයෝ නැති රටක සිද්ධස්ථාන වැඩක් නෑ - …. ඒ කිව්වේ, ‘සිද්ධස්ථානයකින් සිද්ධ වෙන කටයුතු’ කියලා දෙයක් ගෝනියාවේ නෑ!”

“රාහිත් කියනේ ගෝනියාවේ ආගම සම්පූර්නෙන් ප්රයිවටයිස් කරලා!”

“මං ඒ විදිහට හිතලා නෑ - නමුත් නරක නෑ එහෙම හිතන එක!”

මම මගේ සටහන් ලියන්න විනාඩි කීපයක් ගියා. ඒ අතරතුර ගෝනියාවුන් අතර ඇතිවුන සාකච්චා සිද්ධස්ථාන ගැනයි - කීප දෙනෙක් මේ ගැන මීට ඉස්සර සිතා නැතිබවයි මට දැනුනේ.

“ලංකාවේ තියෙන තව ප්රශ්නයක් - ජාති භේද. වෙන වෙන ජන කොට්ටාශ අතරේ විශ්වාසය දැන් හොඳටම අඩුයි. අපෙ රටේ ඉන්න හැමෝම කියන්නේ/හිතන්නේ ‘අපෙ ජාතිය’ අනික් ‘ජාති’ වලට වැඩිය හොඳයි, අවංකයි, නීතිගරුකයි කියලා …… එහෙමයි පිට ඉඳන් බලන කෙනෙකුට කෙනෙකුට පෙනෙන්නේ. හැබැයි මේ සංකල්පනය යොදන්නේ ජාති අතරේ මිස තනි පුද්ගලයන් අතරේ නොවෙයි. උදාහරනයක් වශයෙන් ‘දෙමලුන්ට’ බනින ‘සිංහලයන්ට’ දෙමල යාළුවෝ, නෑදෑයෝ ඉන්නවා…. නමුත් ගෝනියාවේ ඉන්නේ එක ජන කොට්ටාශයයි. ඒ නිසා ඒ අතින් වාද බේද ඇතිවෙන්නෙ නෑ - නේද?”

විකී මේකට උත්තර දුන්නේ.

“උපාලිම දන්නවා ඒ ප්රශ්නෙට උත්තරයක් නෑ කියලා - මොකද ඒ ප්රශ්නේ ගෝනියාවට අදාල නෑ; ජාති බේද අපි දන්නෙ නෑ; පනුවෝ පිහාටු ගැන නොදන්නවා වගේ”

මම සිනා මුහුනින් ආයෙත් සටහන් පොත වෙතට හැරුනා.

“එතකොට කුල භේද?”

“මොන භේද?”

“ගෝනියාවේ නැද්ද උත්පත්තියෙන්ම ලබන ජනතා වර්ගකිරීමක් - පුරාණයේ මුතුන්මිත්තන්ගෙ වෘත්තිය අනුව?... ගොවියෝ… ගුරුවරු … වගේ? අහලා ඇතිනේ ඉන්දියාවේ බ්රාහ්මණ, වයිශ්ය වගේ කුල? ලංකාවෙත් තියෙනවා, ඉන්දියාවට වැඩිය ලිහිල් වුනාට….”

“ඔවු අපි කියවලා තියෙනවා ඒවා ගැන … මට එකයි කියන්න තියෙන්නේ; අපෙ වාසනාවට ඒවා මෙහෙ නෑ! … උපාලී දන්නව නේද යටත් විජිතයක් හැටියට බොහොම කාලයක් හිටියත් ගෝනියාවේ සංස්කෘතිය ඒ විදිහටම පැවතුනා කියලා …. ඒකට හේතු තමා අපි අතරේ ලොකු භේද නොවීම, මං හිතන්නේ. අපිට පුළුවන් අපෙ නෑදෑකම් පරම්පරා හතර පහකට මතක තියාගන්න - ඒ කියන්නේ රටේ සියළුදෙනාම යන්තමට හරි නෑදෑයෝ. අපි නෑදෑයොත් එක්ක කෝලාහල කරන්නෙ නෑ උපාලී….”

මගේ ගවේෂණය ටිකින් ටික අඩපණ වෙන බව මට දැනුනා. සමාජයක කතාව ලියවෙන්නේ ඒ සමාජයෙන් නැගී එන විවිධ අදහස් මතයි. බොහොම වෙලාවට මේ අදහස් එකිනෙකට විරුද්ධ වීමෙන් නැගෙන නව සංකල්ප වලිනුයි සමාජය පෝෂණය වී දියුණුව කරා ගමන් කරන්නේ. විවිධත්වයක් නැති ඒකරූපී සමාජයක් ගැන මම ලියන්නේ මොනවද? මගේ ජන විමසුමෙන් කියවෙන්නේ ගවේෂණයේ දුර්වලත්වයද? මම මේ අදහස් චක්ට කියන්න ඕනැද? මගේ ජනවිමසීමේ අඩුපාඩු නිසාද මෙහෙම වෙන්නේ?

මෙවැනි අදහස් වලින් මොලේ වෙහෙසද්දී මම ආපනශාලාවේ වටපිට බැලුවේ මිත්රයන්ට මගේ සිතේ දෙගිඩියාව කෙසේ කියන්නද යයි සිතමිනුයි. මගේ ජනවිමසුමේ ලොකු අඩුපාඩුවක් මම දැක්කේ අවට මේසවල වාඩිවී ඉන්නන් දැකලයි - මම ගෑනු ළමයින්ගෙන් අදහස් විමසලා නෑ - ජනගහනයෙන් සියයට පනහක් කෙලින්ම අමතක කරලා!

අපෙ මේසේ ගෑනු ළමයි නොහිටියා වගේම මේ ආපනශාලාවේ එක මේසයක් ලඟවත් ගෑනු-පිරිමි දෙගොල්ලම නෑ. සමහර මේස ලඟ පිරිමි; අනික් මේස ගැහැනු - මිශ්ර මේස නෑ!

“අයිසේ රාහිත්…. මම මේ දැන් දැක්කේ අමුතු දෙයක්… දන්නවද මේ ආපනශාලාවේ එක මේසයක් ලඟ වත් පිරිමි ළමයිත් ගෑනු ළමයිත් එකට වාඩි වෙලා නෑ!”

“ඔවු… ඒක උපාලිට ප්රශ්නයද?”

කටහඬෙන් මට හිතුනා තව ප්රශ්නයක් අහන එක වටිනවා කියලා.

“ඒක අහම්බෙන් සිදුවුන දෙයක්ද, සංස්කෘතික අණක්ද?”

“අපෝ නෑ! ඒක අපෙ රටේ හැටියක්; සංස්කෘතියේ වටිනා ගුණකයක්!”

“ඒ කොහොමද?”

රාහිත් මේසේ වටේ අනික් අය දිහා බැළුවා, හරියට මගෙ ප්රශ්නෙට උත්තර දෙන්න වෙන කැමති කෙනෙක් ඉන්නවද බලන්න වගේ.

“අපෙ සමාජේ වැදගත් සිරිත් බොහොමයි - එකට කන්න බොන්න හොඳ කාත් එක්කද කියන එක වැදගත් අපිට. ඒ වගේම මොන ඉස්කෝලෙටද යන්නේ, මොන කඩෙන්ද බඩු ගන්නේ වගේ දේ අපිට උප්පත්තියෙන්ම තීරනේ වෙලා තියෙන්නේ!”

මම විස්මයට පත්වුනා රාහිත්ගෙ කතාවට - මෙතරම් එකාකාරී සමාජයක නොවැදගත් ගතිලක්ෂණ ජනයා කොටස් කිරීමට පාවිච්චි වීම මට තේරුම් ගන්න අමාරුයි. නමුත් මගේ ගවේෂණය තවම සම්පූර්නෙන් පීලි පැනලා නෑ වගේ.

“අපි තව කන්න මොනවත් ගමුද? මට බඩගිනියි - ඕන අයට බොන්න ඕනනම් කියන්න මම හපන්න මොනවත් ඕඩර් කරනකොට ගන්න පුළුවන්… ඔය එකට කන/නොකන නීති වගේ තව තියෙනවද එහෙම නීති?”

“අපෝ ඕන තරම්….”

මේසේ වටින් එක එක නීති ඇහුනා.

“දකුනු අතෙන් ලියන එවුන්”

“අඩි පහකට අඩුඋස පිරිමි”

“වමෙන් ඔලුව පීරන අය - ගෑනු හෝ පිරිමි”

“සින්දු කියන්නට බැරි අය”

මට ලියාගන්නත් අමාරු වේගෙට නීති කියවුනා.

ජාතිය, ආගම, කුලය… මේ කිසි දෙයක් මුල්කරගත් භේද නැති රටක ජනයා සමාදානෙන් ජීවත්විය යුතු බව පැහැදිළියි. නමුත් ගෝනියාව වැනි එවැනි සමාජයක සුළු වෙනස්කම් ගොන්නක් - ලාංකිකයෝ නොතකන තත්වේ වෙනස්කම් ගොන්නක් - වැදගත් යයි සලකන්නේ කුමක් නිසාද යන්න ප්රශ්නයක්. දියුනුවන සමාජයකට වෙනස්කම් සහ ඒ අනුව බිහිවූ නීති රීති අවශ්යමද? මෙවැනි ප්රශ්න වලට පිළිතුරුසපයන්න මගේ උගත්කම දියුනු මදි බවනම් මට ඉතා පැහැදිළියි.